If you can't read Sinhala, get the fonts from here

Sunday 21 March 2010

කුමරියක පා සළඹ සැලුණා...

ඔන්න දීර්ඝ නිහැඩියාවකට පස්සේ හිතුනා බ්ලොග් සටහනක් තියන්න. මට මේක ලියන්න ‍හිතුනේ, අපේ ලස්සන සිංදු ටිකක් කට්ටියට ආපහු මතක් කරල දෙන්න ඕන කියල හිතුන හින්දා.....

ගිය සතියේ දවසක මම කැමතිම, දැන් වැඩිය ඇහෙන්නේ නැති සිංදුවක් අහන්න ලැබුණා. සිංදුව කියන්නේ අමරදේවයන්, ලියුවේ අප අතරින් වියෝවූ කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්, සංගීත‍වත් කළේ වික්ටර් රත්නායකයන්. මෙහෙමයි වචන යන්නේ......

--------------------------------------------------------

කුමරියක පා සළඹ සැලුණා - වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා - සම‍වැදී උන් දැහැන් බිඳුණා
කුමරියක පා සළඹ සැලුණා

උකුල ලැම හස මලවි කරලිය - මුවා කළ ඇගෙ දුහුල් සළුතිර
විවර කෙරුවා මනස් සලෙළුන් - උමතු වූ දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය - සුරන් නැලවූ සුයාමය
කුමරියක පා සළඹ සැලුණා

නිසල ජීවන තපෝ වන මැද - හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිඳ කම්පනය කරවයි - ලපළු තුරුවැල් කැකුළු මල්පෙති
මා හඬවයි බිදුනු තුසිතය - සුරන් නැලවූ සුයාමය

කුමරියක......

----------------------------------------------------------

සිංදුව අහලම බලන්න.... කුමරියක පා සළඹ සැලුණා

අද කාලේ තියෙන ප්‍රේම ගීතත් එක්ක බලනකොට මේ සිංදුවල වටිනාකම කියලා නිමකරන්න බෑ. මේ සිංදුවේ අදහස හරියටම තේරෙන්නේ නැති අයට පොඩි උදව්වක් කරන්නම්. මම කියන මේ තේරුම හරියටම හරි නොයන්න පුළුවන්.... මුලින්ම කියන්න ඕනේ මේ ගීතයෙන් කියවෙන්නේ කෙනෙකුගේ සිතුවිලි දාමයක් ගැනයි. මේක ඇත්ත සිදුවීමක් නෙවෙයි කියලා ජේ. බී. දිසානායක මහත්තයා විචාරයකදී කියලා තිබුණා. හරි මෙහෙමයි සරල තේරුම....

"මගේ සිතේ ලස්සන කුමාරිකාවන් වගේ හැඩැති, රූපත් යුවතියකගේ රුවක් මැවේ. ඇගේ රූ සපුව නිසා මා මෙතෙක් සමවැදී සිටි බඹසර දැහැන ද බිදී ‍ගියේය. මාගේ උමතු සිත, ඈ හැඳ සිටි සිනිඳු සළු තුලින්, ඈ රූ සපුව දකින්නට තැත් කරයි. අහෝ, මා අබියස මේ මැවෙන්නේ දෙව් ලොවක්ම ද? මෙතෙක් මම, සුවිසල් ඇතෙක් වන්, මගේ හැගීම් පාලනය කරගෙන සිටියෙමි. දැන් නම් ඒ සියල්ල බිඳී ගොසිනි. මම ඒ බිඳී ගිය දෙව් ලොව දැක කම්පා වෙමි."

මේ ගීතය ගැන තවත් දෙයක් කියලම මම අදට නවතින්නම්. ගීතය එක වරක් ඇහුවම තේරුම හිතාගන්න බෑ. සමහර විට 3න් 4 වරක් වත් අහන්න ඕනේ. ඒ වුනාට අද නව පන්නයේ ගීත බලන්න. සිංදුව බාගයක් යනකොටම ඉතුරු ටිකත් හිතාගන්න පුළුවන්. අද කාලේ හුඟක් සිංදු අපේ කන පිනවනවා විතරයි. හිතන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ. ඒකයි මම මේ සිංදුව අද මෙහෙම ඉදිරිපත් කලේ. තවත් සිංදුවකින් ළඟඳීම ‍හමුවෙන්නම්. එතකල්, ගිහින් එන්නම්.

3 comments:

උගුසිඤ්ඤො said...

whats da meaning of malavi karaliya in that song

DevindaA said...

ගිහාන්, උත්තරේ බාගෙට දෙන්නම්. ඉතුරු ටික හිතා ගනින්.
මලවි = අනංගයා
කරලිය = වේදිකාව
මලවි කරලිය = අනංගයාගේ වේදිකාව, එහෙම නැත්නම් අනංගයා රංගනයේ යෙදෙන තැන.
ඔය ඇති... තේරුණා කියලා හිතනවා.

prabah said...

hodai. thanks.