If you can't read Sinhala, get the fonts from here

Monday 30 August 2010

ඌව අධ්‍යාපන චාරිකා (1 වන කොටස)

අපි, අපේ දහම් පාසල් ළමයින් සමඟ ඊයේ (29 ඉරිදා) ලංකාවේ ඌව පලාතේ සිද්ධස්ථාන වලට අධ්‍යාපන චාරිකාවක් ගියා. ඒ ස්ථාන පිලිබඳ අපි එකතු කරගත් කරුණු ටිකක් බ්ලොග් සටහන් කිහිපයක් විදියට එකතු කරන්න මම හිතුවේ අපි මේ කරුණු සොයනවිට ‍වුනු මහන්සිය නිසාමයි. මේවා කවුරුන් හෝ ප්‍රයෝජනයට ගනීවි කියලා බලාපොරොත්තු වෙන‍වා.

ඌව පලාත

ලංකාවේ දුෂ්කරම පලාතක් ලෙස සැලකෙන ඌව පලාතට බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක දෙක ඇතුලත් වේ. පෙර රජ දවස මහවැලි නදියටත්, දැදුරු ඔයටත් මායිම් වූ ලංකාවේ පහළ බිම් කොටස රුහුණු රට ලෙස හැඳින්වුණු අතර ඌව ප්‍රදේශය "විසිදහස් රට" යනුවෙන් හැඳින්විණ. මෙම පලාතට‍ ඌව යන නම ලැබුනු හැටි ගැන මෙලෙස මතයක් පවතී. මෙම ප්‍රදේශයේ පිහිටි සුළං කපොල්ලකින් හූ හඬින් සුළං පැමිණි නිසා මුලින් "හූව-ආව" ලෙසද, එය අනුක්‍රමයෙන් "හූවාව" සහ "ඌව" ලෙස භාවිතයට පැමිණි බ‍වත් පැරණි ජනවහරෙහි සඳහන් වේ.
මෙම ප්‍රදේශය අපට වැදගත් වන්නේ ප්‍රධාන වශයෙන්ම දුටුගැමුණු හා සද්ධාතිස්ස යන දෙසොහොයුරන් නිසා ය. තම පියා වූ කාවන්තිස්ස රජතුමා සමඟ නොමනාප වූ ගැමුණු කුමරු කන්තලේ ප්‍රදේශයට පලා ගොස් ගම්මානයක ජීවත් වූ බව අප දනිමු. ඒත් සමඟම තිස්ස කුමරු අප මේ කතා කරන ප්‍රදේශයේ වාසය කළ බව ඉතිහාසය අපට කියාදෙයි. පිය රජතුමාගේ මරණින් පසු එම අවසන් කටයුතු කිරීම සඳහා තිස්ස කුමරු ඉක්මණින් මාගම් පුරවරයට යන අතර කටයුතු නිමා කර තම මව් වූ විහාරමහා දේවියත්, මංගල හස්තියා වූ ක‍ඩොල් ඇතාත් සමඟින් නැවතත් ඔහු මෙම ප්‍රදේශයට පැමිණි බව සඳහන් වේ.
මෙම සිදුවීම් පෙල දැනගත් ගැමුණු කුමරු වහාම මාගම් රාජ්‍යයට පැමිණෙන අතර ඒ වන විටද තිස්ස කුමරු වෙල්ලස්ස ප්‍රදේශටය පිටවී ගොසිනි. ගැමුණු කුමරු, තිස්ස කුමරුට මවත්, ක‍ඩොල් ඇතාත් සමඟ නැවත පැමිණෙන ලෙස නියෝග කලත් තිස්ස කුමරු එය නොපිළිගත් නිසා ගැමුණු කුමරු තම මලනුවන් සමඟ යුද්ධයකට සූදානම් විය. තම සේනාවද සමඟ සටනට යන ගැමුණු කුමරු තිස්ස කුමරුගේ සේනාව විසින් පරාජය කරනු ලබන තම ඉතිරි පිරිසද රැගෙන ගැමුණු කුමරු පලා යයි.
නැවතත් සේනා සංවිධානය කරගන්නා ගැමුණු කුමරු දෙවන සටනක් සඳහාද පැමිණේ. එවිට තිස්ස කුමරු පරාජය වන අතර ඔහු පලා ගොස් දෙමටමල් විහාරයේ සැඟවෙයි. හාමුදුරුවරුන්ගේ උපකාරයෙන් පංසලෙන් පිටවන තිස්ස කුමරු අයියාගෙන් ගැලවී යයි. මේ විරසකය හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් සමතයකට පත් වන අතර පසුව දෙසොයුරන් එකතුවෙන් එළාර රජු සමඟ සටන් කොට ලක්දිව එක්සේසත් කිරීමට හැකියාව ලැබේ.

ඉතින් අපි චාරිකාවේ යෙදුනේ මෙවන් වටපිටාවක් සහිත සුන්දර පරිසරයක යි. අපේ ගමනට මල් වැස්සකින් සුළු බාධාවක් සිදුවුනත් අපි දෙමටමල් විහාරය, මාලිගාවිල, දඹේගොඩ හා යුදගනාව යන ස්ථාන වල සංචාරය කළෙමු. ඒ එක් එක් ස්ථාන ගැන විස්තර ඉදිරි සටහන් වලින් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා.....

2 comments:

Anonymous said...

looking forward for rest of the posts...

qwerty said...

I read all parts of the article. very interesting.