දෙමටමල් විහාරය
අප අධ්‍යාපන චාරිකාවේ මුල්ම නැවතුම වූයේ දෙමටමල් විහාරයයි. මෙය පිහිටා ඇත්තේ බුත්තල ඔක්කම්පිටිය ප්‍රදේශයේ හෙලගම ග්‍රාමයේ යි. බුත්තල සිට මාලිගාවිල මාර්ගයේ කිලෝමීටර 6 ක් පමණ ගමන් කල පසු මෙම ඓතිහාසික සිද්ධස්ථානයට ළඟා විය හැකිය.
දෙමටමල් විහාරය අපට වැදගත් වන්නේ ගැමුණු හා තිස්ස කුමාරවරුන් නිසාය. මෙම දෙදෙනා අතර සිදුවූ දෙවන ගැටුමෙන් පසු පරාජය වූ තිස්ස කුමරු අයියාගෙන් ගැලවීම සඳහා මෙම විහාරයේ සැඟවුණු බව සඳහන් වේ. විහාරයෙන් පැනයා නොහැකි වූ තැන සාමණේර හිමියන් සිව් දෙනකුගේ කර පිටින්, මැරුණ භික්ෂුවක්ගේ මළකඳ ආකරයේ ප්‍රයෝගයකින් තිස්ස කුමරු විහාරයෙන් පිටවී ගිය බව ඉතිහාසය අපට කියයි.
මෙම විහාරයට "දෙමටමල්" යන නම ලැබුණ ආකාරය පිලිබඳව ද ප්‍රධාන මත 2ක් තිබේ. ඉන් පළමුවැන්නෙන් කියන්නේ දෙවානම්පියතිස්ස රජුගේ වැඩිමල් මල්ලී (දෙටු මල්) වූ මහානාග යුව රජු විසින් මෙම විහාරය කරවූ බැවින් දෙටු මල් විහාරය ලෙස මෙය හැඳින්වුන බවයි. පසුව දෙටු මල් විහාරය, දෙමටමල් විහාරය ලෙසට කට වහරට හුරුවී ඇත. දෙවන මතයට අනුව, ගැමුණු කුමරු තම මල්ලීව (තිස්ස කුමරු) දුටු ස්ථානය මෙය බැවින්, දුටුමල් -> දෙටුමල් -> දෙමටමල් ලෙස හැඳින්වුන බවයි.
මෙහි පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුත් අංග ගණනාවක්ම තිබේ. ඉන් පළමුවැන්න ඉපැරණි දාගැබයි.
මෙම දාගැබ හැඩයෙන් බුබ්බුලාකාර වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ අන් චෛත්‍ය වලදී පිටතට දැකගත නොහැකි චෛත්‍යයේ කොත තුල ඇති "යූපය" හෙවත් "යූප ස්ථම්භය" පිටත සිට දැක ගත හැකි වීමයි (2 රූපය සලකුණු කල කොටස බලන්න). යූපය යනු චෛත්‍යයේ කොත් කැරුල්ල සෑදීමේදී යොදා ගනු ලබන කණුවකි. මෙය බොහෝ විට තනි, සෘජු කළු ගලකි. චෛත්‍යයේ දේවතා කොටුව මත සිට කෙලින් සිටුවනු ලබන මෙය වටා කොත් කැරුල්ල නිර්මාණය කරනු ලැබේ. ලංකාවේ බොහෝ චෛත්‍යවල මෙය යොදා ගෙන ඇතත් එය පිටතට දැකගත හැකි වන්නේ දෙමටමල් විහාර චෛත්‍යයේදී පමණි. 90 දශකයේදී සිදුවූ පුරාවිද්‍යාත්මක ප්‍රතිසංස්කරණ වලදී යූපය කොටස කායත් දැක ගත හැකි වන ලෙස එක් පසකින් හිඩැසක් තබා තිබේ.
No comments:
Post a Comment